ලංකා විදුලිබල මණ්ඩලයේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව විසින්, විදුලිබල සංරක්ෂණය හා කාර්යක්ෂම විදුලි භාවිතය පිළිබඳව අනාගත දරු පරපුර මඟින් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලියක් සංවිධානය කරන ලදී. අධ්‍යාපන අමාත්‍යංශයෙහි පූර්ණ අනු දැනුම ඇතිව බලශක්ති ඉල්ලුම්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සහය ද ඇතිව 2017 වසරේ මාර්තු මස මුල් සතියේ සිට සිංහල හා දමිල ජාතික හා ළමා පුවත්පත් මඟින් මෙන්ම පාසල් වලට තැපැල් කර හරින ලද උපදෙස් පත්‍රිකා මඟින් ද දිවයින පුරා පාසල් වල 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්, ගුරුභවතුන් හා දෙමාපියන් මෙම තරඟාවලිය සම්බන්ධයෙන් දැනවත් කරන ලදී.
මෙම තරඟාවලිය විවෘතව පැවතියේ 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පමණක් වන අතර, ඔවුන්ගේ නිර්මාණ, පර්යේෂණ හා සංවර්ධන ශාඛාව වෙත යොමු කර ගැනීම සඳහා ලංවිම කාර්ය මණ්ඩලය විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හරහාද වැඩපිළිවෙලක් දියත් කරන ලදී.
නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබීය. සිතුවම් නිර්මාණ තරඟාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් ජයග්‍රාහකයින් තොරා ගනු ලැබුණි. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමේ සිතුවම් නිර්මාණ ජයග්‍රාහකයින් අතුරින් ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා, බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී තරඟාවලියේ අවසන් වටය පැවැත්වුණු අතර, එහිදී ලබා දුන් සාර්ථක නිර්මාණ අතුරින්, වයස් කාණ්ඩ තුනක් යටතේ ජාතික මට්ටමින් ජයග්‍රාහකයින් තොරා ගන්නා ලදී.
තරඟාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවය හා ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය, 2017 සැප්තැම්බර් මස 21 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගී වූ අතර, ගරු විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති ඩබ්ලිව්. ඒ. ගාමිණී වනසේකර මහතා ද, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. කේ. සමරසිංහ මහතා ද, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ද, අධ්‍යාපන අමාත්‍යංශයෙහි නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.
මෙහිදී දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, කුසලාන හා සහතිකපත් ලබා දුන් අතර, ජයග්‍රාහකයින්ගේ මුදල් ත්‍යාග වලින් 50%ක් ඔවුන් අධ්‍යාපනය ලබන පාසල් වලටද හිමි විය. සිතුවම් නිර්මාණ තරඟාවලියෙහි ජයග්‍රහකයින් 192 දෙනෙක් සහ නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලියෙහි ජයග්‍රහකයින් 83 දෙනෙක් මෙම උත්සවයේදී සම්මාන ලැබූහ.
මෙම තරගාවලිය ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික උපායමාර්ගික අංශයෙහි පර්යේෂණ හා සංවර්ධන ශාඛාව විසින් සංවිධානය කරන ලදී.
↧
සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලියෙහි අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවය
↧