Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ගුණානුස්මරණය

$
0
0

මෙරට ජල විදුලියේ පියා වන ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ ගුණානුස්මරණය, 2017 සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබිණ. ප්‍රධාන ගුණානුස්මරණය උත්සවය ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ අතර, මෙයට සමගාමීව සෑම කාර්යාලයකම, බලාගාරයකම හා වැඩබිමකම ද මෙම දිනය සැමරුණි.

ශ්‍රී ලංකා දීපයට ජල විදුලි බලය හඳුන්වා දුන් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා 1874 සැප්තැම්බර් මස 17 දින මෙලොව එළිය දුටුවේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මොහු, සෑම විශයකින්ම විශිෂ්ටතම ප්‍රවීනත්වය දිනා ගත්තේය. පාසලේ සිටියදීම ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගය සමත් වූ මොහු, ඩී බී ජයතිලක ආදි සම්භාවනීය ආචාර මණ්ඩලේ සම්මානයට පාත්‍ර වූ ශිෂ්‍යයා බවටද පත් විය.

කොලොන්නාවේ රජයේ කර්මාන්තශාලාවේ ආධුනික ඉංජිනේරුවකු ලෙස සේවයට බැඳුනු ඔහු, සේවය අතරතුර කොළඹ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳී සිවිල් ඉංජිනේරු ප්‍රථම උපාධිය ලබා ගත්තේ එම සාමාර්ථය ලැබූ ප්‍රථම ලාංකිකයා බවට පත් වෙමිනි. වැඩිදුර අධ්‍යාපනය ඉන්දියාවේදී හැදෑරීමෙන් අනතුරුව, ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා රජයේ වැඩ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ ඉංජිනේරුවකු ලෙස පත්වීම් ලැබීය. දිස්ත්‍රික් ඉංජිනේරුවකු ලෙස දියතලාව, ගාල්ල, උඩුපුස්සැල්ලාව, මහනුවර යන ප්‍රදේශ සඳහා ඉමහත් සේවයක් ඉටු කළ මොහු, පසුව රජයේ වැඩ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු තනතුරට පත් විය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකධූරයකට පත් කරනු ලැබීමෙන් පසු, කොලොන්නාව විදුලිබලාගාරයේ බෙදාහැරීම් පද්ධතියේ නිර්මාණය කිරිමේ වැඩකටයුතුද මොහුට භාර විය.

ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා විසින් ඇබර්ඩීන් ලක්ෂපාන යෝජනා ක්‍රමය සැලසුම් කළ ද එය සැබෑවක් කර ගැනීමට එවක ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළ අසීරු විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරඟ කොට ජය ගත් විමලසුරේන්ද්‍ර මහතා ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදාකර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය ලෙස මෙගාවොට් 25ක ධාරිතාවකින් යුත් ලක්ෂපාන ජලවිදුලි බලාගාරය 1950 වසරේ ආරම්භ විය. රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී චෛත්‍යයේ රන් කොත් කැරැල්ල ඔහු විසින් නිර්මාණය කරන ලද අතර බෞද්ධ දර්ශනය බටහිර ලෝකයේ ව්‍යාප්ත කරලීම සඳහා බෞද්ධ පොත් ගනණාවක් ඔහු ජර්මන් භාෂාවට පරිවර්තනය කළේය. රටට ආගමට ජාතියට මහඟු සේවයක් ඉටු කළ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා 1953 අගෝස්තු මස 10 වන දින දැයෙන් සමු ගත්තේය. ඔහු විසින් ඉටු කරන ලද සේවයට උපහාරයක් ලෙස, නෝර්ටන් බ්‍රිජ්හි ඉදි කරන ලද ජලවිදුලි බලාගාරය, ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරය නමින් නම් කරන ලදී.


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles