Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ශ්‍රී ලංකාවේ ජලවිදුලිබලයේ පියා: ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා

$
0
0

ශ්‍රී ලංකා දීපයට ජල විදුලි බලය හඳුන්වා දුන් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ 144වන ජන්ම දිනය 2018 සැප්තැම්බර් මස 17 දින අභිමානවත් ලෙස සැමරේ.
ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා 1874 සැප්තැම්බර් මස 17 දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහන්දිරම් නිවසේදී මෙලොව එළිය දුටුවේය. දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර මුදළිඳු වූ මොහුගේ පියා, භාෂා රාශියක නිපුණත්වය දැක්වූ, ලී හා අනෙක් කැටයම් හා ස්වර්ණාභරණ කලාවෙහි නමක් දැරූ කර්මාන්ත හිමිකරුවෙකු වූ අතර මව දෝන ක්‍රිස්ටිනා ජයසිංහ ය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මොහු, සෑම විශයකින්ම විශිෂ්ටතම ප්‍රවීනත්වය දිනා ගත්තේය. පාසලේ සිටියදීම මොහු ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගය සමත් වූයේ එම විභාගය සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිණි. තවද, ඩී බී ජයතිලක ආදි සම්භාවනීය ආචාර මණ්ඩලේ සම්මානයට පාත්‍ර වූ ශිෂ්‍යයා බවටද මොහු පත් විය.
1893 වර්ෂයේ කොලොන්නාවේ රජයේ කර්මාන්තශාලාවේ ආධුනික ඉංජිනේරුවකු ලෙස සේවයට බැඳුනු ඔහු, සේවය අතරතුර කොළඹ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට බැඳී සිවිල් ඉංජිනේරු ප්‍රථම උපාධිය ලබා ගත්තේ එම සුදුසුකම ලැබූ ප්‍රථම ලාංකිකයා බවට පත් වෙමිනි. වැඩිදුර අධ්‍යාපනය ඉන්දියාවේදී හැදෑරූ ඔහු, ඉන් සමත් වූයේ විශිෂ්ට සාමාර්ථයක්ද සහිතවය.
ඉන්පසු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා රජයේ වැඩ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ ඉංජිනේරුවකු ලෙස පත්වීම් ලැබීය. දිස්ත්‍රික් ඉංජිනේරුවකු ලෙස දියතලාව, ගාල්ල, උඩුපුස්සැල්ලාව, මහනුවර යන ප්‍රදේශ සඳහා ඉමහත් සේවයක් ඉටු කළ මොහු, පසුව රජයේ වැඩ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු තනතුරට පත් විය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකධූරයකට පත් කරනු ලැබීමෙන් පසු, කොලොන්නාව විදුලිබලාගාරයේ බෙදාහැරීම් පද්ධතියේ නිර්මාණය කිරිමේ වැඩකටයුතුද මොහුට භාර විය.
ගාලු නගරයේ හියාරේ යෝධ ජල සම්පාදන සැලසුමටද, උඩරට දුම්රිය මාර්ගය සැලසුමටද, දෙමෝදර මංපෙත සැලසුමටද, රුවන්වැලි මහා සෑයේ අඩි 24ක් උස චූඩා මාණික්‍ය සහිත කොත් කැරැල්ල නිර්මාණය කර එය ඔසවා පැළඳ වීමට ද ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා දායක විය.
ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝගය පරිදි විමලසුරේන්ද්‍ර මහතාට කැලණි ගංගා ද්‍රෝණියේ රත්රන් වැනි ඛනිජ වර්ග නිධි වශයෙන් තිබේදැයි හඳුනා ගැනීම සඳහා පාංශු පරීක්ෂණ පැවැත්වීමට නියම විය. ඛනිජ නිධි එකකුදු සොයාගැනීමට අපොහොසත් වුවත් දහසක් පහන් දැල්වූ ලක්ෂපාන දිය දහර හරහා නැවුම් බලාපොරොත්තුවක් විමලසුරේන්ද්‍රගේ දෑස් තුළ ජනිත විය.
මෙරට ජල විදුලිය නිපදවීම හීනයකින්වත් කිරීමට සිතා නොතිබූ යුගයක, විමලසුරේන්ද්‍ර මහතා ඒ ගැන සිතා, තම ඉන්ජිනේරු නුවණ භාවිතා කොට ගණිතමය වශයෙන් සැලසුම් කොට විශ්වාසයෙන් සැලසුම් ඉදිරිපත් කරන කළේය.
පුස්සැල්ලාව ප්‍රදේශයේ රාජකාරි කරන සමයේ තම පෞද්ගලික උනන්දුව හා වියදම මත පවත්වාගෙන ගිය පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ විශ්වසනීය සංඛ්‍යාත්මක දත්ත මත ගොනු කරමින් සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් සකස් කර ගැනීමට විමලසුරේන්ද්‍ර මහතාට හැකි වීම ය. ඔහුගේ දීර්ඝකාලීන ප්‍රයත්නයේ අග්‍ර ඵලය වූයේ නිකරුණේ ගලාගිය ජලයෙන් නිපදවිය හැකි ජල විදුලියේ ප්‍රමාණයත් ඒ සඳහා වැය වන වියදමත් ඉන් ලද හැකි මහත් ආර්ථික ප්‍රතිලාභත් විද්‍යානුකූලව හා විශ්වසනීය ලෙස විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ බලශක්ති උපයෝගිතාව පිළිබඳ ආර්ථික මුහුණුවර” නම් වූ පර්යේෂණ නිබන්ධය යි. එම වාර්තාව 1918. 04. 04 වැනි දා සැමගේ අවධානයට ලක්වෙමින් ලංකා ඉංජිනේරු ආයතනය ඉදිරියේ එතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. වඑම පත්‍රිකාවෙහි පිටපතක් පහතින් දක්වා ඇත.
1918 වසරේ ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලංකාවේ බලශක්ති උපයෝගිතාව පිළිබඳ ආර්ථික මුහුණුවර” නම් වූ පර්යේෂණ නිබන්ධයට අනුව, චාලක ශක්තිය ලෙස ගබඩා වී ඇති බලශක්තිය ශ්‍රී ලංකාව සතු විශාල සම්පතකි. තම දුර දක්නා නුවණ භාවිතයෙන්, මෙම බලශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරය මෙම පර්යේෂණ නිබන්ධය පුරාවට ඔහු පැහැදිලි කරයි. ජල විදුලිය නිපදවීමට ඉතා උචිත ස්ථාන ලෙස විමලසුරේන්ද්‍ර මහතා දක්වා ඇති ස්ථාන දෙස බැලූ කල, අද දිනයේ ඔහුගේ නුවණැති අනාවැකිය සැබෑ වී ඇති බව දුටු විට, එවන් වියතුන් ඉපදුනු මෙම භූමියේ ඉපදීමද භාග්‍යක් කොට සැලකිය යුතුය. “ශ්‍රී ලංකාවේ බලශක්ති උපයෝගිතාව පිළිබඳ ආර්ථික මුහුණුවර” පර්යේෂණ නිබන්ධයට අනුව ශ්‍රී ලංකාවේ ජලවිදුලිය නිපදවීම සඳහා උචිතම ස්ථාන ලෙස සැලකෙන සමහරක් මෙසේය.
• මහවැලි ගංගාව
• මහනුවරින් සැතපුම් 8ක දුරින්
• උලපනේ
• කොත්මලේ
• ඇබර්ඩීන් ඇල්ල
• ලක්ෂපාන ඇල්ල
ශ්‍රී ලංකාවේ ජලවිදුලිය නිපදවීම සඳහා උචිතම ස්ථාන පෙන්වා දීමෙන් නොනැවතුණු ඔහු, ඒවායේ පිරිවැය ද ගණනය කොට ඉදිරිපත් කළේය.
ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා විසින් ඇබර්ඩීන් ලක්ෂපාන යෝජනා ක්‍රමය සැලසුම් කළ ද එය සැබෑවක් කර ගැනීමට එවක ඉංග්‍රීසි පාලන ක්‍රමය තුළ අසීරු විය. ඔහු පනස් පස් වියේදී තිස් වසරක් රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන 1931 දී පැවැති මහ මැතිවරණයේදී රත්නපුර සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ ය.
ඉන් අනතුරුව ඔහු ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදාකර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ප්‍රථම ජලවිදුලි බලාගාරය ලෙස මෙගාවොට් 25ක ධාරිතාවකින් යුත් ලක්ෂපාන ජලවිදුලි බලාගාරය 1950 වසරේ ආරම්භ විය.
රජයේ ඉල්ලීම පිට විමලසුරේන්ද්‍ර මහතා ගේ මැදිහත් වීමෙන් කෙහෙල්ගමු ඔය වම් ඉවුරේ 18 විදුලි බලාගාරය ඉදි කලේය. මෙය ඉදිකළේ ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සඳහා වුවද එමගින් හැටන්, දික්ඔය නාගරික ප්‍රදේශ වලටත් යාබද තේ කර්මාන්ත ශාලාවටත් විදුලිය සැපයීමට හැකිවිය. දිවයිනෙහි කර්මාන්තවලට විදුලිය සැපයූ පළමු අවස්ථාව වශයෙන් මෙය සඳහන් වෙයි.
ස්ටැන්ලි ආණ්ඩුකාරවරයාගේ යෝජනාවක් මත කොලොන්නාව තාප විදුලි බලාගාරය අති දක්ෂ ලෙස සැලැසුම් කොට මාස 12ක් ඇතුලත ඉදි කිරීමටත් තම කාර්මික ඥානය ප්‍රශස්ත බව ඉංග්‍රීසි පාලකයින්ට පෙන්නුම් කිරීමටත් ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා සමත් විය.
ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ පන්නරයෙන් පණ ගැන්වුණු ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදයෙහි, ජල විදුලිය මුල් තැන ගත්තේ ය. තෙල් බලය පසු බෑවේ ය. මේ හේතුවෙන් රටේ ආර්ථිකය සීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරන්නට විය.
ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා ජලවිදුලි ක්ෂේත්‍රයට පමණක් නොව, රටේ දියුණුව සඳහා අවැසි ක්ෂේත්‍ර ගණනාවක් වෙත තම අවධානය යොමු කළේය. දුම්රිය විදුලිකරණය එ් අතර සුවිශේෂී අවධානයක් දිනා ගැනේ. දුම්රිය විදුලිකරණය ශ්‍රී ලංකාවේ සිදු විය යුතු ආකාරය හා එහි විද්‍යාත්මක පසුබිම පෙන්වා දී නොනැවතුණු ඔහු, එහි පිරිවැය ද ගණනය කොට ඉදිරිපත් කළේය.
බෞද්ධ දර්ශනය බටහිර ලෝකයේ ව්‍යාප්ත කරලීම සඳහා බෞද්ධ පොත් ගනණාවක් ඔහු ජර්මන් භාෂාවට පරිවර්තනය කළේය.
රටට ආගමට ජාතියට මහඟු සේවයක් ඉටු කළ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා 1953 අගෝස්තු මස 10 වන දින දැයෙන් සමු ගත්තේය.
ඔහු විසින් ඉටු කරන ලද සේවයට උපහාරයක් ලෙස, නෝර්ටන් බ්‍රිජ්හි ඉදි කරන ලද ජලවිදුලි බලාගාරය, ඩී.ජේ. විමලසුරේන්ද්‍ර නමින් නම් කරන ලදී.

Economics of Power Utilization in Ceylon (ශ්‍රී ලංකාවේ බලශක්ති උපයෝගිතාව පිළිබඳ ආර්ථික මුහුණුවර)


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles