මේ මස 20 දින වනවිට විදුලි ඉල්ලූම්පත් ලබාගැනීම අවසන්කර කඩිනමින් නව සබඳතා ලබාදීමට පියවර ගන්න…
“රටම එළියයි – අඳුර දුරලයි” ජාතික විදුලි සත්කාරය පිළිබඳව පැවති දැනුවත් කිරීමේ සාකච්චාවේදි දිසාපතිවරුන්, අතිරේක දිසාපතිවරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් උපදෙස්
මේ මස 20 දිනට ප‍්‍රථම විදුලි ණය ලබාදීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස් හඳුනාගනිමින් ඔවුන්ගේ ඉල්ලූම්පත් ලබාගැනිම අවසන් කරන ලෙසත් අනතුරුව ඉතාමත් කඩිනමින් ඔවුන් සඳහාවන ණය පහසුකම් සපයාදී නව විදුලි සබඳතා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ මහතා මෙම අදහස් පළකළේ අද (03) රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරය පිළිබඳව දිසාපතිවරුන්, අතිරේක දිසාපතිවරුන් මෙන්ම සැලසුම් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සාකච්චාවට සහභාගී වෙමිනි.
ඉල්ලූම්මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,
“පසුගිය දා අපි මෙම ජාතික විදුලි සත්කාරය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කළා. ඒ අනුව දෙසැම්බර් මස 4 දින වීමට ප‍්‍රථම අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ විදුලියනය සියයට සියයක් බවට ගෙනඒමට කටයුතු කරනවා. ඒ සම්බන්ධ සියලූ සැලසුම් අපි මේ වනවිට සකස් කොට අවසන්. ඒ වගේම ලබන වසර ජනවාරි 31 ට ප‍්‍රථම සමස්ත රටේම විදුලියනය 100% බවට ගෙනඒමේ භාරදූර ඉලක්කයටත් අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා”
“මේ වනවිට මාසයක පමන සිට මේ ජාතික විදුලි සත්කාරය පිළිබඳව කථිකාවතක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ වෙද්දි 98%ක් විදුලිය ලබාදී තිබෙනවා. ආසියානු කලාපයේ වසර 30ක් යුද්ධයක පැටළිලා සිටිය අපේ රටේ, මේ වගේ ප‍්‍රධාන යටිතල පහසුකම් සංවර්ධනයවී තිබීම ඉතාමත් වැදගත්. අපේ රටේ එක් කණ්ඩායමක් සිටිනවා, ගේ ඉදිරිපසින් විදුලි කම්බිය ගමන් කළත් තවමත් නිවසට විදුලිය අරගෙන නැති පිරිසක්. එය සංඛ්‍යාත්මකව පවුල් 126792 ක්. ඒවගේම තවත් 33300 ක් ඉන්නවා කෙටි විදුලි දිගු මගින් විදුලිය ලබාදීය හැකි කොටස්. අද විදුලි බල්බය විතරක් නෙමෙයි තවත් බොහෝ විදුලි අවශ්‍යතා තිබෙනවා ඔවුන්ට. මේ අය ගැන සොයා බැලිම ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්න කිරීම සමාජ වගකීමක්.
සමෘද්ධි අමාත්‍යාංශය දැනටමත් රු 30,000ක ණයක් ලබාදෙනවා විදුලිය ගන්න ආර්ථික අපහසුතා පවතින අයට. නමුත් මෙම ණය මුදල මගින් නිවස වයරින් කරගැනීමට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රථිපාදන යොදාගනිමින් ආපසු ගෙවීමේ පදනම මත. නිවස වයරින් කරගැනීමටත් නව විදුලි සබඳතාව ලබාගැනීමටත් වසර 6 කින් ගෙවා නිමවෙන පරිදි රු. 40,000 ක ණය මුදලක් ලබාදෙන්න අපි තීරණය කළා. අපේ අරමුණ වන්නේ මේ තුළින් මෙතෙක් විදුලිය ලබාගැනීමට නොහැකි වු ජනතාවට විදුලිය ලබාදීමයි”යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජය අමාත්‍ය නිතීඥ අජිත් පී.පෙරේරා, අමාත්‍යාංශ ලේක්ම් සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එන්.සී. වික‍්‍රමසේකර යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.